18/04/2026
අකල් වියෝ 🤍
කෙටි කතාවකි.
අකාලේ වියෝ වූ මවකගේ උණුහුම අත් නොහරින දුවෙකුගේ කතාව...🤍
මං හීනෙන් ගැස්සිලා ඇහැරුණා. එච්චර ම ගැස්සිලා ඇහැරෙන්න තරම් මං මොකද්ද දැකපු හීනෙ කියලවත් මට මතක් කරගන්න බැරි එකයි පුදුමෙ. ඒ බය උන පාරට මගෙ පපුව කොච්චර ගැහෙනව ද කියල කවුරු හරි ළග හිටිය නම් එයාටත් දැනගන්න තිබුණා.
යන්තං ඇස් දෙක ඇරගත්තත් මට ඇදෙන් නැගිටින්න තියා ඔලුව උස්සගන්නවත් බෑ. හරියට දහ දොළොස් දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ. එක නින්දක් නිදියගෙන ඇහැරින ටිකට මනුස්සයෙක්ට මෙච්චර මහන්සියක් එක්ක ඇගට අමාරු ගතියක් දැනෙන්න පුළුවන් ද කියලයි මං මේ කල්පනා කරන්නෙ.
ජනේලෙට ගහල තියෙන නිල් පාට ඉටි රෙද්දෙ කිසිම හැඩයක් නැතුව ඉරුණු තැනකින් වැටිච්ච අවුරැල්ලක් මං පෙරවගෙන උන්නු රෙද්දෙ එහාට මෙහාට යනවා. ඒ අවුරැල්ලෙ සැර ඇගට දැනෙනකොට මට තේරුණා දැන් නම් උදේ පාන්දර නෙමේ කියලා.
පුදුමයි... මෙච්චර දවල් වෙලත් තාම අම්මගෙ පුරුදු අඩහැරේ ඇහුණෙ නැති එකත්. මං ඇස් දෙකත් වහගෙන ම කල්පනා කළා. ඇස් දෙක ඇරගන්න මහන්සි වෙනවට වඩා එහෙම ඇස් වහගෙන ඉද්දි හරි සනීපයක් මට දැනුණා.
දර ලිපේ බත ඉදෙන සුවදක්වත් රොටී පිච්චෙන සුවදක්වත් තාම දැනුණෙ නෑනෙ. අම්මට අද උදේ නැගිටගන්න අමාරු වෙන්න ඇති. තාමත් මුකුත් සද්දයක් නැත්තෙ එකත් එකට ම මං නැගිටින්න ඉස්සරින් පාන් ගේන්න කඩේ දුවන්න ඇති.
මං යන්තම් ඇස් දෙක ඇරලා වටපිට බැලුවා. කාමරේ ඇතුළෙ පිළිවෙලක් ගෑවිලාවත් තිබුණෙ නෑ.
වීසි කරපු පනහෙ සීයෙ නෝට්ටු ගොඩක් කාමරේ බිත්තයක් මුල්ලෙ වැටිල තිබ්බා. ඒවා හොදහැටි කාටදෝ පෑගිලා දුඹුරු පාට වෙලා තිබුණෙ.
මං ආයෙත් ඇස් දෙක වහගත්තා. වහගෙන ඉන්න ගමන් ම මගේ ඇස් දෙකට හේතුවක් නැතිව ම කදුළු ඉනුවා. හේතුවක් නෑ කියන්න ම බෑ. අපරාදෙ මං එදා එහෙම අම්මත් එක්ක රණ්ඩු උනේ. එදා කියල කියන්නෙ.. ඊයෙ නේද ? නැත්තං පෙරේද ද ? මට හරියට ම දවස් මතක් වෙන්නෙ නෑනෙ. හරියට ඒ දවසින් පස්සෙ ගොඩක් දවස් ගෙවිල අද දවස ඇවිත් වගේ.
.............................................................
"අම්මේ...."
මං ගෙයි දොරකඩ මැටි පිලේ ඉදගත්තෙ ෆෝන් එකත් ඔබන ගමන්. මං කතා කරපු සද්දෙට අම්ම ඇවිත් ඉස්සරහ දොරේ උළුවස්සට හේත්තු උනේ කොහෙදෝ ඈතක් බලාගෙනමයි.
මං එක පාරක් අම්මා දිහා බලලා ආයෙත් ෆෝන් එක අතට ගත්තා.
"ඇයි සුදු නෝනා.."
"මං අර කිව්වෙ යාළුවෙක්ගෙ අක්ක කෙනෙක්ගෙ වෙඩින් එකක් ගැන."
මං ඒ කතාව ගැන පටන් ගත්තෙ එතනින්. අම්මට ඇරෙන්න මට කියන්න කෙනෙක් හිටියෙත් නෑ. අම්මගෙ මූණ දිහා බලාගෙන ඒක ගැන අහන්නත් මට අමුතු චකිතයක් දැනුනෙ නැත්තෙම නෑ.
"අර... මොකද්ද ඒ දැරිවිගෙ නම.. ආ.. සදා දුවගෙ අක්කගෙ මගුල නෙ."
"ම්ම්.. ඔව් ඒක තමයි."
"මටත් ඔය වග මතක් උනා පෙරෙයිදා රෑත්. දැන් උඹට ඔය මගුලට ඇදගෙන යන්න එකක් තියේද කෙල්ලෙ. මං කල්පනා කලේ අර සුමනක්කගෙ කෙලීගෙන්වත් උඹට සූට් එකක් ඉල්ලවගෙන දෙන්න."
මට ඕනි ම තැනින් අම්මා කතාව පටන් ගත්තත් මට ඒ කතාවට කේන්ති ගියේ නෑ කිව්වොත් ඒක බොරු. මං ආස ම නැති දේ කා ළගවත් වැදවැටෙන්න. අම්මලාගෙත් තියෙන නැති බැරි අසරණකම් වලට ඒව පේන්නෙ නැති එකයි මට තිබ්බ දුක.
"ආයෙත් පටන් ගත්තද.. මං අම්මට හැමදාම කියනවනෙ අම්මෙ එක එකාගෙන් අපිට ඕනෙ දේවල් ඉල්ලගන්න එක පුරුද්දට තියාගන්න එපාය කියල. ඔහොම හිගමනේ ගියාම තමා උන් අපේ නැති බැරිකං අල්ලගෙන ඔලුවට අත හෝදන්න එන්නෙ."
මං කියාගෙන කියාගෙන ගියේ අම්මගෙ මූණවත් බලන්නෙ නැතුව. ඒ නිසා ඒ වෙලේ අම්මගෙ මූණෙ තිබ්බෙ මොනවගේ හැගීමක් ද කියන්න මං දැක්කෙ නෑ.
එයින් ටිකක් වෙලා යනකල් අම්මවත් මංවත් කතා කළේ නෑ. අපි දෙන්න ම කල්පනාවකට වැටිල හිටියෙ. ඉස්සල්ලා කේන්තියට ම මං හයියෙන් උඩට පහළට ගත්තු හුස්මෙ සැර බාල වෙනකල් ඉදල මං නැගිටලා අම්මා හිටන් උන්නු තැනට ගිහින් පිටිපස්සෙන් එයාව බදාගත්තා.
ළිපෙන් වීසි උනු දුම් රොඩු අම්මගෙ ඇගේ හැමතැන ම විසිරිලා තිබුණා. එයාගෙ බෙල්ල දිගේ වැක්කෙරෙන දාඩිය බිංදු නිසා මගේ එක කම්මුලකුත් තෙත් වෙලා තිබුණෙ.
"මේ.. මේක ලස්සනයි ද.."
මං මෙච්චර වෙලා බල බලා හිටපු පින්තූරෙ අම්මට පෙන්නුවා.
"ලස්සන කෙල්ලෙක් නෙ. මෙච්චර සුදු වෙන්න නම් අර මොනාද නළු නිළියො මූණ උලන ජාතියක් උලාගෙන ද කොහෙද."
මං හිනා උනා නෙමේ හිනාව එළියට පැන්නා. අම්මගෙ උරහිසේ ම ඔලුව ගහගෙන මං තව විනාඩියක් දෙකක් හිනා වෙන්න ඇති.
"මොකෝ බං.. ඔච්චර සිරික්කිය.."
"ඒ කෙල්ල ව නෙමෙයි අනේ පෙන්නුවේ.. මේ ගවුම."
ඒ පාර අම්මත් ෆෝන් එක දිහා බලාගෙන ලැජ්ජාවෙන් හිනාවෙන හැටි මං දැක්කා.
"සූට් එක නම් හොදයි. ඒ උනාට පාට නං එච්චර හරි නෑ."
"පාට නං හරි නෑ තමා. අම්ම හිතන්නෙ මොන පාට වගෙ හරියයි කියල ද"
"ම්ම්.. මූදු නිල් පාට වගේ..."
මං ඒ ගවුමෙ තද රෝස පාට වෙනුවට මුහුදු නිල් පාට මවාගත්තා. ඒත් එක්කම මගේ තොල් එහාට මෙහාට වෙලා හීන් හිනාවක් ආවෙ ඒ පාට මගේ හමට ගැළපෙන ම පාට නිසා වෙන්න ඇති.
"අම්මෙ..."
මං හීන මැවිල්ල පැත්තකින් තිබ්බා.
"මොකෝ බං. කියන්න තියෙන දෙයක් විගහට කියපන්ංකො කෙල්ලෙ. තව හොද්දට පොල් බෑයක් ගාගන්නත් තියෙනව."
"සදාගෙ අක්කගෙ වෙඩින් එකට අදින්න මට මේ ගවුමක් ඕනෙ."
කටට ආපු වචන දෙක තුන මං එක හුස්මට කියාගෙන කියාගෙන ගියා.
අම්මා මුකුත් ම කිව්වෙ නෑ. ඒ වෙනුවට ලොකු හුස්මක් උඩට අරන් පහළට දැම්මා. ඒ හුස්මෙ රස්නෙ එහෙම්ම මගේ අතට දැනුනා. අම්මා මුකුත් නොකියපු එකට මට කේන්ති ගියෙ නෑ. ඒ වෙනුවට මගේ පපුවෙ කොහෙදෝ අස්සක් කවුදෝ හීනියට කොනිත්තනවා වගේ මට දැනුනා.
"බලමුකො."
අම්මා මගේ අත අයින් කරගෙන ම කුස්සියට ගියා. මං ආයෙත් අර හිටපු තැනින් ම වාඩි උනා.
මගේ ඇස් අස්සෙන් කටු අනිනවා වගේ දැනුණා. වැටෙන්න ඔන්න මෙන්න තිබුණු කදුළු බිංදු දෙකක් අම්මා මැටි පොළවෙ කකුල ඇද ඇද එන සද්දෙට මං පිහිදාල දැම්මා.
අම්මගෙ අවුල් උන කොණ්ඩ ගස් පුරා ම ළිපේ අළු. පහුවෙච්චි වැහි කුණාටුවට දර මැස්ස කැඩිල ඔක්කොම දර තෙමුණ නිසා වෙන්න ඇති ඇවිළෙන්න හොර. ළිපට පිඹල මහන්සියට ම ආපු කැස්ස නිසා අම්ම කතා කරන්න ටිකක් පරක්කු උනා.
"ආ මේක පරිස්සමට අරන් ගිහින් සූට් එකක් ගනින් පුතේ. කීයක් හරි ඉතිරි උනොත් නාස්ති නොකර ඔය මොනාද.. මාල වළලු අරුමෝසම් මොනාහරිත් ගනින්."
අම්මා එහෙම කියල රුපියල් සීයෙ පනහෙ කොළ වගයක් මගේ අතේ ගුලිකරල ගියා. මගේ ඇස් කෙවෙනිවලින් ආයිත් කටු ඇනෙන්න ගත්තා. ඒ ඔක්කොම පැත්තකින් තියල මං ඒ පොඩි වෙච්චි නෝට්ටු ටික ගනන් කරන්න ගත්තා.
"රුපියල් දෙදාහකින් කරන්න පුළුවන් දෙයක් නෑ අම්මෙ. ඒ ඇදුමත් මං හිතන්නෙ හාරදාහකට වැඩී."
මං තනි කකුලකට බර දීගෙන කුස්සියේ උළුවස්සට හේත්තු උනා. අම්මා කොලොම්බුවේ වාඩිගෙන ගොටුකොළ මැල්ලුමක් ලියන්න ගත්තා විතරයි. අම්මා කරන්න ගිය වැඩෙත් නවත්තලා ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් හිටියා.
"සන්තානම් මෑණියනේ... ගෙදර හරියෙ ම තිබුණෙ ඔච්චරයි සුදු නෝනෙ. ඔයි ටිකත් උඹලගෙ තාත්තගෙන් පරිස්සම් කොරන් තියාගත්තෙ බෝම අමාරුවෙන්. අනේ මේ පාරට විතරක් ඔය තියෙන ගානකින් පොඩිවට සූට් එකක් ගනින් කෙල්ලෙ."
"මොකද්ද අම්මෙ.. හැමදාම අන්තිම පාරට අන්තිම පාරට කියනවා. මං අනිත් ළමයි වගේ ඔයාලට අරක ඕනෙ මේක ඕනෙ කියල හැමදාම වද දෙනවද. දුන්නොත් දෙන දෙයක් ගන්නව මිසක් මේක හරි නෑ අරක හරි නෑ කියල තියෙනවද. මාත් හරි ආසයි අම්මෙ එහෙම ලස්සනට අදින්න. අඩුම තරමෙ එක ම එක දවසකටවත්."
අපේ කුස්සියෙන් ඇහුනෙ මගේ සද්දෙ විතරයි. බිත්තියේ වැදෙන ගානට ඒ සද්දෙ දෝන්කාර දීලා ආයෙත් මගේ කන් වලට ම ඇහුණා. කදුළු වලට හෝ ගාල වැටෙන්න දීල මං ආයෙත් තනියෙන් කතා කරන්න ගත්තා.
"හැමදාම අර ඉරිදට පොළෙන් ගේන එක පාරක් වතුරෙ ඔබල ගත්තු ගමන් ඇගට හිර වෙන ඇදුම් ඇදල ම මටත් එපා වෙලා. අම්මලාගෙ කාලෙ වගේ නෙමෙයිනෙ දැන්. අර පොඩ්ඩක් මේ මූකලානෙන් එහාට ගිහින් බලන්න අනිත් මිනිස්සු අදින පළදින ලස්සන. අපිට අන්තිමට කාපු බීපු දේකුත් නෑ ඇදපු පැළදපු දේකුත් නෑ. මොනවද අපිට තියෙන්නෙ. හැමදාම ඉර පායනවට නැගිටලා ඉර බහිනවට නිදාගෙන තියෙන දෙයක් කාල බීල ඇදල ඉන්න එක විතරයි ද අපි කරන්න ඕනෙ."
අතට අහුවෙන සීමාවෙ තිබුණු බෙලෙක් කෝප්පෙ බිමට වට්ටගෙන ම මං කාමරේට දිව්වා. මීට විනාඩි ගානකට කලින් ඉදන් වැටෙන්න පටන්ගත්තු කදුළු තාමත් කම්මුල් දිගේ බේරෙනවා.
මගේ කාමරේ බිමට දාල තියෙන ගෙදර එකම කොහු මෙට්ටෙ උඩට වැටිල මං තව සෑහෙන්න වෙලාවක් ඇඩුවා. අම්මා මගෙ ළගට ආවෙවත් අඩන්න එපා කියලවත් කිව්වෙ නෑ. ඒ හම්බුන නිදහසින් මං මෙච්චර දවස් හිත හිත ලතැවුනු හැම ආසාවක් ම මතක් කර කර ඇඩුවා.
.............................................................
මගෙ හොද මතකෙ තිබ්බෙ එච්චරයි. මං හරි අමාරුවෙන් නිදාගෙන හිටපු තැනින් නැගිටගත්තා. ඔලුව කැරකෙන්න ගත්තු විදියට මං නොවැටී බේරුනේ බිත්තියකට පිංසිද්ද වෙන්න. කකුලක් බිමින් තිබ්බත් අඩිය තියෙන්නෙ නුහුරට. ඒ බමන ගතියෙන් ම මං බිත්ති අල්ල අල්ල කුස්සියට ම ගියා.
අම්මා එන්න කලින් පොල් සම්බෝලයක්වත් ගලේ අඹරලා තියන්න හිතාගෙන මං කුස්සියට ගියේ. ලිපේ එක අගුරු පුළුටක් තිබුණෙ නෑ. දවස් ගානකින් උයල නෑ වගේ. සමහර විට අද උදේට උයන්න දෙයක් නැති නිසා අම්මා රෑම ලිප අස් කරල දාන්න ඇති.
සම්බෝල අඹරන්න මිරිස් කරලක්වත් පොල් බෑයක්වත් නැති නිසා
මං මැටි කලේ තිබුණ සීතල වතුර ටිකක් අරන් මූණට ඉහගත්තා. මූණ තිබුණට වඩා ටිකක් ඉදිමිලා කියල මට ම දැනුනා.
'ගොඩක් වෙල නිදාගත්තු නිසා වෙන්න ඇති.' මං එහෙම හිතාගෙන සාලෙට එන ගමන් තාත්තා ඉන්න කාමරේට එබුණා.
"සමන්මලියො... සමන්මලී..."
බිම පැදුරෙ හාන්සි වෙලා තාත්තා අම්මගෙ නම කිය කියා කෙදිරි ගානවා. තාම වෙරිමතේ ද කොහෙද.. දැන් අම්මා ආවම විසුමක් වෙන එකක් නෑ.
මං හැදුවෙ අම්මා එනකල් පිල්කණ්ඩිය උඩින් වාඩිවෙලා ඉන්න. ඊටවඩා දෙයක් කියන්න මගේ ඇගට පණක් තිබුණෙ නෑ. අඩුම තරමින් කෙලින් කටින් නැගිටලා ඉන්නවත්.
සාලෙ තිබ්බ පුටු කෑලි දෙක තුනත් එළියට දාලා. මිදුලෙ තිබ්බෙත් හරි අපිරිසිදු ගතියක්. ඒත් මේ වෙලේ මට ඉදලක් අල්ලන්න තියා මිදුලට බැහැගන්නවත් බෑනෙ.
අම්මා ළගින් ම ආශ්රය කරපු නැන්දලා දෙන්නෙක් අපේ කඩුල්ල පැනගෙන එන හැටි මං දැක්කා. නිතර ම අපේ ගෙදරට ආව ගියාට මොකද මට එක පාරට ම ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් නමක් මතක් කරගන්න බැරිඋනා.
අම්මා කඩේ පැත්තටවත් යනව දැක්කද කියල ඒ දෙන්නෙගෙන්වත් අහනව කියල හිතාගෙන මං බිත්තියට වාරුවෙවී නැගිටගත්තා.
"නැන්දේ අම්..."
මං කතා කරන්න හැදුවත් වචන පැටලෙන්න ගත්තා.
"ඒක තමයි පුතේ.. අපි හත්දොහේ දානෙ ගමේ පන්සලට ම දීල අහවරක් කරමු. මහලොකු පිනක් ඕනෙ වෙන්න උඹලගෙ අම්මා පව් කරපු ගෑණියෙකුත් නෙමෙයිනෙ."
මුකුත් කියන්න ඕනෙ නෑ. මං ගල් ගැහුණා. නැත්තම් මගේ ඔලුවට කවුරු හරි පොල්ලකින් ගැහුවා. එහෙමත් නැත්තම් මුකුත් ම හිතෙන්නෙ නැති විදියට මගෙ පපුව ගැහෙන එක එහෙම්පිටින් ම නැවතුනා.
මං ආයෙත් හොද සිහියට ඇවිත් හිනාවෙලා කතා කරන්න ගත්තා.
"මොනවද නැන්දෙ කියන්නෙ. කාගෙ හත්දොහේ දානෙ ද? අම්මට කියල යන්නද ආවෙ? අම්ම නං ගෙදර හරියක නෑ. කඩේට දුවලද කොහෙද. මාත් දැන් වරුවක විතර ඉදන් එයාව හොයනවා. මං එයා ආ වෙලාවක කියන්නම්කො නැන්දලා කාගෙද දානකයක් මතක් කරල ගියා කියල."
ඒ දෙන්නා උන්හිටි තැන ම ගල් වෙලා මූණට මූණ බලාගත්තා. දෙන්නගෙම ඇස් වල කදුළු පුරෝගෙන. එයින් එක්කෙනෙක් මගේ උරහිස් වලින් තදට අල්ලගත්තා.
"අනේ රත්තරනෙ.. උඹලගෙ අම්මා අර උඩහ සොහොනෙ වල දාල තාම පස් වල උශ්නෙ ගිහිල්ලත් නැතුවැති."
මං ආයෙත් පාරක් හිනා උනා. කලින් පාරටත් වඩා හයියෙන්.
"මගේ අම්මා මැරුණ නම්.. මට ඒක මතක තියෙන්න ඕනෙ නේද. ඊයෙ මං අම්මත් එක්ක රණ්ඩු උනා තමා. ඒත් දැන් ඒක ඉවරයි. මං හිතාගත්තා ආයෙ එයා එක්ක රණ්ඩු වෙන්නෙවත් මුකුත් ඉල්ලන්නෙවත් නෑ කියල. අම්මා ආවම මං කියන්නම්කො නැන්දලා ආ වග."
ඒ දෙන්න ම එකවර ලොකු හුස්මක් අරන් පහළට දැම්මා. ඊටපස්සෙ මුකුත් නොකිය ම ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන ඉදල යන්න හැරුණා.
"අම්මා මළාට පස්සෙවත් එක කදුළු බිංදුවක් වට්ටන්නෙ නැතුව බලාගත්තු අත බලාගෙන උන්නු කෙල්ලනෙ. තාම සාංකාව ඔය ඇත්තෙ. අපි ගොහින් දාවිත් අයියා සිහියෙන් ඉන්න වෙලාවකට ඇවිත් ඔය කටයුතු පිළිවෙලක් කොරමු."
"හ්ම්ම්.. පව් අර පොඩි එකී. ඒකිට අම්මෙක් ඉන්නම ඕනෙ වයසෙ දි නෙව සමන්මලියටත් මාරයා අඩගැහුවෙ."
යන්න හදන දෙන්නා එහෙම මුමුණන හැටි මට ඇහුනා. දෙයියනේ... මගෙ අම්මා මැරුණා නම් මට ඒක මතක හිටින්න එපැයි. මං මගේ අම්මා මැරිලා ඉන්න හැටි මතක් කරගන්න හැදුවා.
.............................................................
මං ඇස් දෙක පියාගෙන හිටියෙ. සාලෙ බිම ඇණතියාගෙන බිත්තියට හේත්තු වෙලා. මගේ ඇස් දෙක හොදටම රිදෙනවා. ඒත් ඇස් කෙවෙනි වේලිලා එක කදුළු බිංදුවක් නැති වෙන්න ම.
මගෙ ඉස්සරහින් දහ පාළොස් දෙනෙක් ඇවිදින සද්දෙ මට ඇහෙනවා. කවුදෝ අඩනවා. තව කවුදෝ හූල්ලනවා. තව කවුදෝ ගුණ වර්ණනාවක් කරනවා. තවත් කෙනෙක් ඒකට හූමිටි තියනවා. කුස්සිය පැත්තෙන් හැන්දක් පීරිසි කෝප්ප වල වදින සද්දෙ ඇහෙනවා.
ඒත් මට අම්මගෙ මිනිය නම් පෙනුනෙ නෑ. ඒ මං ඇස් වහගෙන හිටපු නිසා ද දන්නෙ නෑ..............................................................
මගෙ අම්මා මැරුණෙ නෑ. එහෙම උනා නම් කාටත් කලින් ඒක මං දැනගන්න එපැයි. අර නැන්දලා කාගෙදෝ මල ගෙදරක් එක්ක අපෙ අම්ම ව පටලගෙන ද කොහෙද..
මං ඒ හිටපු විදියට ම තව කොච්චරක්දෝ වෙලා හිටියා. මට එකපාරට ම මතක් උනේ උඩහ සොහොන. අම්මා මැරිල නම් එතන ඉන්න එපැයි. මං හිත හිතවත් ඉන්නෙ නැතුව ඒ පැත්තට දිව්වා.
මං දිව්වෙ මහ කැලෑව මැද්දෙන්. අවුරුදු ගානකින් ගිහින් තිබුණෙ නැතත් පුදුමෙකට මට සොහොනට යන පාර අද ඊයෙ ගියා වගේ මතක තිබ්බා. ඒ යන පාරෙ තණකොළ හොදට ම පොඩි වෙලා තිබුණ නිසා වෙන්න ඇති.
අලුතින් ම සරසපු සුදු පාට ඉටිරෙදි කෑලි මට ඈත ඉදන් ම පේන්න ගත්තා. මං පපුවට අතක් තියාගත්තා. මගේ හුස්ම උඩට පහළට යන වේගෙ තත්පරේකට දහ දොළොස් පාරක් විතර වැඩි වෙලා. අතට අහුවෙන තණකොළ ගස්වල පවා එල්ලිලා මං සොහොන ළගට ම බඩ ගා ගත්තා.
අන්තිමට මට නැගිටගන්න පණක් තිබ්බෙ නෑ. මං එතන බිම අලුත ගොඩගහපු පස් වල දිගෑදුනා. මට ඔලුව උස්සගන්න පුළුවන් උනේ ඒ පින්තූරෙට පහළින් තිබුණ අපැහැදිලි අකුරු ටික කියවගන්න විතරයි. මං ගොත ගගහා ඒ ටික කියවන්න ගත්තා.
"ඩබ්ලිව්.ජී.... සමන්..මලී... මැණිකේ... මාතා..වට..."
"ඒක ඇත්ත ද එතකොට.. මගේ අම්මා මැරිලා..?"
මං මගේ ඔලුව ඒ පස් ගොඩම ගහගත්තා. ඔලුව ටිකක් උස්සගන්න පුළුවන් වෙනකල් මං එහෙම්ම ම හිටියා. චුට්ට ම චුට්ට වෙලාවකට හිත හයිය කරන් මං ඔලුව උස්සලා ඒ පින්තූරෙ දිහා බැලුවා.
අම්මෝ.. ඇතියන්තම්... මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලේ. එක වගේ නම් තියෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්න පුළුවන්නෙ. ඒකනෙ අර නැන්දලාට පැටලිලා තිබුණෙ.
ඒ පින්තූරෙ හිටියෙ මගෙ අම්මා නෙමෙයි. කවුදෝ හොද උස මහත ගෑණු කෙනෙක්ගෙ කළු සුදු පින්තූරයක්. මගේ අම්මා නෙමේ. එයා හරි කෙට්ටුයි. කොණ්ඩෙත් තැන තැන ඉදිලා තිබුණෙ. එයා මෙච්චර පාටත් නෑ. අව්වත් එක්ක ම පොර බැදල කළු ගැහිල හිටියෙ. අනික එයාගෙ මූණ මේ වගේ නෙමේ. මස් දියවෙලා ගිහින් රැලි වැටීගෙන එන ගමන් තිබ්බෙ. කෝ මේ ගෑණු කෙනාගෙ එහෙම නෑනෙ. එයා හරි ලස්සනයි. මූණ පිරිච්ච පාටයි. නෑ නෑ කීයටවත් මේ මයෙ අම්මා නෙමේ...
මං එහෙම හිත හිත ආයෙත් කැලෑ පාරට වැටුණා. වෙලාවට මං සොහොනට ආවෙ. නත්තං මං තාම හිතාගෙන ඉන්නෙ මගෙ අම්මා මැරිල කියලනෙ. මගෙ මූණෙ තිබ්බෙ හිනාවක්. හේතුවක් නැතුව කිසිම හැගීමක් නැතුව ම ආපු හිනාවක්.
මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙකට වෙනකල් ම වැලි ගෑවිලා දුඹුරු ම දුඹුරු පාටයි. සෙරෙප්පු දෙකක්වත් නැතිව දුවල ද කොහෙද කකුල් දෙක ම ගල් මුල් කටු ඇනිලා හොදට ම රිදෙන්න පටන් අරන්.
මං ගෙදර ආවා. මිදුල නම් තාමත් අර හැඩිවෙලා තිබුණ විදියමයි. අම්මා එන්න කලින් ඒ ටික අතුගාල දාන්න කියල හිතාගෙන මං ඉදල ගන්න ගියේ. මං දැක්කා තාත්තා නැගිටලා ඇවිත් ගේ අතුගානවා. මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට තාත්තා කොස්සක් අතින් අල්ලනවා මං දැක්කමද කොහෙද.
මං නිකමට ගෙට එබිලා තාත්තට කතා කළා.
"තාත්තෙ.. ඉන්න මං ඔයි ටිකත් අස් කරල දාන්නම්. තාත්තා ඉන්නකො. අම්මා එන්න කලින් මං මේ මිදුලෙ ඉදල් පාරවල් දෙක තුනක් ගහල එන්නම්."
තාත්තා මුකුත් ම කිව්වෙ නෑ. එයාගෙ ඇස් වල තිබ්බ තෙත මං අමු අමුවෙන් ම දැක්කා. තාත්තා බීපු වෙලාවට අඩන හැටි මං ඕනෙ තරම් දැකල තියෙනවා. අදත් උදේ පාන්දර ම බීල ද..
මං ගෙට ගොඩ උනා. තාම අම්මා නම් ඇවිත් නැති පාටයි. ඇවිල්ලා ආයෙ දර ටිකක් හොයන්නවත් ගිහින් ද දන්නෙ නෑ. ගෙයි තිබුණෙ ඔක්කොම වැස්සට තෙමිච්ච දරනෙ. තාත්තා මුකුත් ම කිව්වෙත් නෑ. ඒ නිසා මං අම්මගෙ කාමරේට ගියා.
මං හිතුවා හරි. අම්මා ගෙදර ඇවිත් තමයි මං නැති ටිකට ආයෙ කොහෙ හරි ගිහින් තියෙන්නෙ. මං කාමරේ මුල්ලක යන්තම් කකුල් තුනකින් විතරක් බිත්තියට වාරු වෙලා තිබුණ මේසෙ ළගට ගියා.
අම්මගෙ අර ලස්සන දුර ගමනක් යනකොට විතරක් දාන හීනි චේන්පොට... රුපියල් පන්දාහකට හිලව් වෙලා රිසිට් එකක් එක්ක ම මේසෙ උඩ තිබ්බා. මං ඒක ඇල්ලුවෙවත් නෑ. මගේ ඇස් වලින් කදුළු බේරෙනවා. මට මහා වරදකාරී හැගීමක් දැනුනා. මං ඇයි මාව වදාපු කෙනාට එච්චර දුකක් දුන්නෙ කියලමයි මට හිතුනෙ.
මං ඒක ආයෙ අම්මට ම දීල චේන්පොට බේරගන්න කියනව කියල හිතාගෙන කාමරෙන් එළියට ආවා...
"තාත්තෙ ගමේ කවුදෝ ගෑණු කෙනෙක් මැරිලා. අපේ අම්මගෙ නමමයි ඒ ගෑණු කෙනාට තිබිල තියෙන්නෙ. බලන්නකො ඔක්කොම රැවටිලානෙ ඒ අපේ අම්මා කියල හිතල. මං ගියා ඒ සොහොන බලන්නත්. අපේ අම්මා නෙමෙයි අනේ. කවුදෝ තරුණ වයසක ගෑණු කෙනෙක්. බොරුවට ඔක්කොම රැවටිලා..."
ඒ වෙලේ තාත්තගෙ ඇස් වලින් කදුළු බේරෙන හැටි මං දැක්කා. එයා මොකද්දෝ පිටිපස්සට කරල හංගගෙන මට නොපෙනෙන්න. මං ඒක තාත්තගෙන් උදුරලා ගත්තා.
දෙයියනේ.. අර ගෑණු කෙනාගෙ පින්තූරෙ. තාත්තා ඒක මෙහාටත් අරගෙන ඇවිත්.
"කවුද මේ..."
මං තාත්තගෙන් ඇහුවෙ ටිකක් සද්දෙන්. තාත්තා වෙව්ලන හැටි මං හොදට ම දැක්කා.
"උඹලගෙ අම්මා දුවේ.."
"නෑ.. ඒක වෙන්න බෑ... තාත්තෙ... මේ ගෑණු කෙනා කොහොමද අපෙ අම්මා වෙන්නෙ."
තාත්තා මාව ඇදල අරන් එයා ළගින් බිම වාඩිකරවගත්තා. එයා මොකද්දෝ කතාවක් මට කියන්න හදන්නෙ.
"ගේ හරියෙ උඹලගෙ අම්මගෙ වෙන පින්තූරයක් හොයගන්න බැරිඋනා කෙල්ලෙ. උඹේ ඔය පෝන් කටුවෙවත් අම්මගෙ පින්තූරයක් තිබ්බෙ නෑනෙ. මේකට දැන් අවුරුදු බර ගානක්. මං උඹලගෙ අම්මව කැන්දගෙන එන්න කලින් දා ගමට ආපු කැමරාකාරයෙක්ට කියල ඕක අම්මා ගහගත්තේ. හරී ආසවෙන් මෙච්චර කාලයක් ඕක ළග තියාගෙන උන්නෙ. ඒකිගෙ කරුමෙකට අපේ කරුමෙකට ද කොහෙද ඒ හංගලා තියාගත්තු පින්තූරෙ ආපහු එළියට ගන්න උනේ ඒකිගෙ අවමංගල පින්තූරෙට."
කතාවෙ අන්තිම හරියෙදි තාත්තගෙ කටහඩේ සැර ළග ම හිටපු මටවත් ඇහෙන නෑහෙන ගානට අඩු වෙලා ගියා.
මං ඒ පින්තූරෙ දිහා තව ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ මං දැනන් උන්නු අම්ම නම් නෙමේ. ඒත් තාත්තගෙ ඇස් එයාගෙ කදුළු කවදාවත් බොරු කියන දේවලුත් නෙමේ. මං තාත්තගෙ උරහිස බදාගෙන එයාට තුරුල් උනා.
"අපේ අම්මා මැරුණ ද තාත්තෙ."
"ඔව් මගෙ දරුවො." තාත්තා ඉකිගහන හැටි මං නොදැක්කත් මට ඒක දැනුනා.
"මොනව වෙලාද මැරුණෙ."
"පපුවෙ අමාරුවක් කියලයි දොස්තරල කිව්වෙ."
"හ්ම්ම්..."
"එහෙනම් ඒ කතාව ඇත්ත තමයි තාත්තෙ."
"මොකද්ද පුතේ.."
" අම්මා ඇත්තට ම මැරිලා තමයි..."
"අනේ මගෙ දරුවෝ..."
තාත්තා මාව තව ටිකක් එයාට තුරුල් කරගත්තා. අපි දෙන්නා එහෙම්ම ම ගොඩක් වෙලා බිම වැටිලා හිටියා. මං ඇඩුවෙ නෑ. මට අඩන්නවත් තේරුමක් තිබ්බෙ නෑ. තාත්තා හොදට ම ඇඩුවා. මං එයාගෙ ඒ කදුළු වල රස්නෙට තුරුල් වෙලා හිටියා.
ටිකකින් මං තාත්තගෙ තුරුලෙන් නැගිටලා ගිහින් අර පින්තූරෙ අතට ගත්තා. තාත්තා ගෙනවිත් තිබ්බ සුදු පාට මල් වැල මාලයක් වගේ ඒ පින්තූරෙට දාල බිත්තියේ තිබ්බ පරණ ඇණේකට එල්ලුවෙත් මමමයි.
ඒ පින්තූරෙ හිටපු ගෑණු කෙනා හිනා වෙවී හිටියා. මං බලාගෙන ඉද්දි එයා තව ටිකක් හිනා උනා.
මං එයාට හිනා වෙන්න දීලා මිදුලට බැස්සා.
"අම්මා එන්න කලින් මිදුලවත් අතුගාලා තියන්න ඕනි.."
මං වීසි වෙලා තිබ්බ ඉදල අතට අරන් අතුගාන්න පටන් ගත්තා.
Author ✍️ - Kaveesha Polkotuwa